පළමු හිරු කිරණ වැටුණු සූර්යය කුන්දය

හින්දු ආගම කියන්නේ ලස්සන රසවත් පුරාවෘත්ත ගොඩක් අන්තර්ගත වෙලා තියෙන ඉතා පැරණි දහමක් නේ. ඉතින් ඒ පුරාවෘත්ත එක්ක බැඳුනු ගොඩක් තැන් ඉන්දියාවේ අදටත් දකින්න පුළුවන්.

අද අපි කියන්න යන්නේ ඒ වගේම පට්ට ලස්සන තැනක් ගැන.

සූර්යය කුන්ද කිහිපයක්ම ඉන්දියාවේ තිබ්බත් ඒ අතරින් ලස්සනම එක තමයි හිමාල කඳු මුදුන් මැද පිහිටා ඇති ගංගෝත්‍රි ප්‍රදේශයේ තියෙන සූර්යය කුන්දය.හරියටම කිව්වොත් මේක තියෙන්නේ ගංගෝත්‍රි කෝවිලේ ඉඳන් මීටර 500ක් වගේ දුරින්.

Gangotri Temple,
ගංගා දෙවඟන වෙනුවෙන් කැප වුණු ගංගෝත්‍රි කෝවිල

හිමාලය කියන්නේ කොහොමත් හරිම ලස්සන පිරිසිදු තැනක් නේ. එකේ කඳු අතර තමයි මේ කියන සූර්යය කුන්දය තියෙන්නේ. මේක ඇත්තටම දිය ඇල්ලක්; නිකම් දිය ඇල්ලක් නෙමෙයි, ලස්සන පිරිසිදු වතුර තියෙන අධ්‍යාත්මික වටිනාකමක් තියෙන දිය ඇල්ලක්.

සූර්යය කුන්දය කියන එකේ අර්ථය තමයි සූර්යය තටාකය – sun pool කියන එක. මේක සම්බන්ධ කරලා පුරාවෘත්ත කිහිපයක්ම තියෙනවා.

ඉන් එකක් තමයි, මහා බ්‍රහ්මයා විසින් මවපු පෘතුවියේ ජීවය ඇති කරන්න සුදුසු වටපිටාවක් ලබා දෙන්න සූර්යය දෙවියන් විසින් තමන්ගේ කිරණ පෘථිවියට වැටෙන්න සලස්වනකොට ඉස්සෙල්ලම ඒ කියන වැටුනේ මේ සූර්යය කුන්දයට කියලා කියනවා.

ඒ වගේම තමයි හින්දු ආගමේ එන ත්‍රිමූරථයෙන් එක් කෙනෙක් වන ශිව දෙවියන්ගේ ආදරණිය බිරිඳ පාර්වතී සූර්යය දෙවියන් උදෙසා ජල පූජාව සිදු කරලා තියෙන්නේ මෙතන කියලා මතයකුත් හින්දු බැතිමතුන් අතරේ තියෙනවා.

ඉතින් ඒ නිසාම ගොඩක් ලොකු වැදගත්කමක් මේ දිය ඇල්ලට හින්දුන් දීලා තියෙනව. මෙතනින් ගලා බසින ජලයට ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් තියෙනවා කියලා එයාල විශ්වාස කරන නිසා මෙතන බලන්න එන බැතිමතුන් හැමෝම වගේ මෙතන ස්නානය කරන්න අමතක කරන්නේ නැහැ.

ඇත්තටම මෙතනට ගලා එන ජලය හිමාලයේ කඳු අතරින් ගලා ගෙන එන නිසා, ඒවායේ ලොකු ඛනිජ සහ ලවණ සංඛ්‍යාවක් දිය වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තෙන්ම මේ ජලය සමේ රෝග ඇතුළු තවත් ලෙඩ බොහොමයකටම ඉතාමත් ගුණදායි වෙනවා. හැබැයි මේ වතුර නම් ඉතින් පට්ට සීතලයි. මොකද හිමාලයේ අයිස් අතරින් ගලන වතුර තමයි මෙතන දී දිය ඇල්ලක් වෙලා පහලට වැටෙන්නේ.

ගල් අතරින් පහළට ගලා ගෙන එන ජලය ස්වාභාවික තටාකයකට වැටෙනවා. ඉතින් ගොඩක් ම සීතල කාලෙට නම් අයිස් එහෙමත් මෙතන තටාකයට වැටෙනවා. ගොඩක් උස දිය ඇල්ලක් නොවුනත්, පුළුල් ප්‍රදෙශයකින් ජලය මේ පහල තියෙන තටාකයට කඩා ගෙන වැටෙනවා. මේ දිය ඇල්ල ප්‍රදේශයේ ප්‍රමුඛතම පාෂාණ විශේෂය විදිහට තියෙන්නේ ග්‍රැනයිට් සහ රළු කැට සහිත ආග්නේය පාෂාණ.

ඒ වගේම තමයි ඔයා මෙහෙ යන දවසේ හොඳට ප්‍රමාණවත් තරම් හිරු එළියක් තිබුනොත් මේ වතුර වැටෙන තැනින් ලස්සන දෙදුන්නකුත් බලා ගන්න ඔයාලට පුළුවන් වෙනවා.

ඉතින් ඔයා අනිවාර්යයෙන් උතුරු ඉන්දියාවේ සංචාරයක කරන්න ගියොත් මේ තැනත් බලන්න යන්න අමතක කරන්න එපා.

 

 

(ඡායාරුප අන්තර්ජාලය ඇසුරෙන්)