ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය විදේශ කටයුතු ඇමතිගේ ප්‍රශංසාවට

ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ප්‍රකාශ කරනවා.

අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි හෙතෙම මේ බව සඳහන් කළේ.

එසේම එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.