සත්‍ය, සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම පනත් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

එම පනත් කෙටුම්පතට අදාළ මහජනතාවගෙන් අදහස් ලබාගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

පශ්චාත් ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසාර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම මෙම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ ලෙස පෙන්වා දී තිබෙනවා.

ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍ය සොයා ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඇති අයිතිය තහවුරු කිරීමක් මෙම කොමිෂන් සභාව හරහා සිදු කිරීමට නියමිතයි