සත් දින ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වෙයි

දින හතක සටන් විරාමයකින් පසුව ඊශ්‍රායලය විසින් යළිත් ගාසා තීරයට පහර දීම ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය විසින් සටන් විරාමයේ කොන්දේසි කඩ කළ බවත්, තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ඔවුන් එකඟ නොවූ බවත් ය.

මේ හේතුවෙන් අද උදෑසන සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ප්‍රදේශ රැසකට හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සටන් විරාමයේ එකඟතා අනුව ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 240 දෙනෙක් සහ, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 110ක් නිදහස් කරනු ලැබුවා.

මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේළමුන් 6,000ක් ද ඇතුළුව පුද්ගලයන් 14,800කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.