රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍ර තුනක් අලුතින්

පසුගිය සඳුදා දිනයේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය මෙම සතියේ සිට ආරම්භ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී ඇති අතර ඒවා සියල්ල ඉදිරි මාස 06ක කාලය තුළ නිකුත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දෙනවා.

මේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා දැක්වූ අදහස්,

“රියදුරු බලපත්‍රවල ප්‍රශ්නේ තිබුණේ කාඩ් නොමැති වීම නෙමෙයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එල්සී විවෘත කරගන්න බැරිවෙලා කාඩ් ගෙන්න ගන්න බැරිවුණා. ඊට පස්සේ අපි කාඩ් ගෙනල්ලා තියෙනවා. නමුත් අපිට කාඩ් ප්‍රින්ට් කරන මැෂින්වල ප්‍රශ්නයක් තිබුණා. මේ සඳුදා තමා මට අලුත් මැෂින් තුන ආවේ. ඒකේ ප්‍රින්ටින් මේ සතියේ පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ගොඩගැහිලා තියෙන ටික ප්‍රින්ට් කරලා අවසන් කරන්න.”