ලාදුරු, ඉංග්‍රීසින් කියනවා නම් Leprosy එහෙමත් නැත්නම් Hansen’s disease කියලා හඳුන්වන මේ රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ කතා බහට ලක් වෙලා තියෙන රෝගයක්. ඒ මොකද කියනවා නම් දැන් දැන් ශ්‍රී ලංකාවේ වාර්තා වෙන ලාදුරු රෝගීන්ගේ යම් වර්ධනයක් නිරීක්ෂණය වෙලා තියෙනවා.
ජාතික ලාදුරු මර්දන ඒකකයට අනුව 2023 වසරේ ආරම්භයේ සිට ඔක්තෝම්බර් අතර කාල සීමාවේ විතරක් අලුතින් රෝගීන් 1,256ක් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා කියලයි දත්ත සටහන් පෙන්වලා දෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තියෙනවා මේ වාර්තා වෙලා ඉන්න රෝගීන් අතරේ අවුරුදු 14ට වඩා අඩු දරුවන් 131ක් ද සිටිනවා.
ලාදුරු කියන්නේ Mycobacterium leprae කියන බැක්ටීරියාව ශරීර ගත වෙලා හැදෙන රෝගයක්. මේ බැක්රිටියාව ආශ්වාසය හරහා හෝ සමේ තියෙන කැපීම්, සිදුරු ආදිය හරහා ආසදිතයෙක්ගෙන් නිරෝගි පුද්ගලයෙක් වෙත සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මෙම බැක්ටීරියාව ආසාදනය වුණු ගර්භනී කාන්තාවකගේ කුස තුළ සිටින දරුවාටත් එය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනව කියලයි සොයා ගෙන තියෙන්නේ.
ඒ වගේම තමයි මේ බැක්ටීරියාව කෙනෙක්ට ආසාදනය වෙලා ඒ කෙනා අවුරුදු ගණනාවක් යනකම් ම කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක නම් ඇත්තටම ටිකක් භයානකයි මොකද එයාගේ රෝග ලක්ෂණ කිසිම දෙය නැති වුණත් එයා තව ගොඩක් දෙනාට ඒ බැක්ටීරියාව බෝ කරන වාහකයෙක් විදිහට ක්‍රියා කරන නිසා.
මෙහෙම ශරීරගත වන මෙම බැක්ටීරියාව ටික කාලයක් යනකොට ප්‍රජනන හරහා තම වර්ගයා බෝ කර ගෙන තමන් ආසාදනය වූ තැන හැරුණු කොට ආසදිතයාගේ අනෙක් ශරීර අවයව වලටත් පැතිරිලා යන්න පුළුවන්. ආසාදනය වෙන තැන අනුව ලාදුරු රෝග ලක්ෂණ වෙනස් වුණත් ඒ හැම එකටම පොදු රෝග ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.
ලාදුරු රෝගයේ බහුල රෝග ලක්ෂණ
Mycobacterium leprae බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් සම, පර්යන්ත ස්නායු පද්ධතියට, ඇස සහ නාසයේ වූ ශ්ලේෂ්මල පටක ආදියට හානි කරනවා.
- සම මත සුදු, රතු හෝ දුඹුරු පැහැ ලප
- සමේ සංවේදනයන් නැති වී යෑම, හිරි වැටෙන ස්වාභාවය
- සමේ කුඩා ගැටිති ආදිය ඇති වීම
- අත් සහ කකුල් වල වණ ඇති වීම
- සියුම් චලන සිදු කිරීමේ අපහසුතාවය
- ඇස් රතු වීම සහ ඉදිමීම
- ඇස් පෙනීම දුර්වල වීම
- තෙහෙට්ටුව
- ආහාර රුචිය අඩු වීම
- හන්දිපත් වේදනාව
- බර අඩු වීම
ඉතින් ඔයාටත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනව නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු විය යුතුමයි. ලාදුරු තත්ත්වයන් කල් ඇතිව හඳුනා ගෙන ඒවාට නිසි ප්‍රතිකාර කිරීම හරහා ස්ථිර ස්නායු ආබාධ ඇති වීම සහ සංකුලතා ඇති වීම වලක්වා ගන්න පුළුවන්.

ඒ වගේම තමයි ඔයා ලාදුරු රෝගයක් ඇති වීමේ අවදානමක් සහිත කෙනෙක් නම් ඔයත් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂණයක් සිදු කර ගෙන තමන්ට රෝගය වැළඳී නොමැති බව තහවුරු කර ගැනීම වැදගත්.
ලාදුරු රෝගය ඇති විය හැකි අවදානම් කාණ්ඩ ලෙස පහත අය හඳුනා ගන්න පුළුවන්,
- වාසය කරන ප්‍රදේශයේ ලාදුරු රෝගීන්ගේ බහුල වාර්තා වීමක් ඇති පුද්ගලයන්
- ලාදුරු ආසදිතයෙක් සමඟ දිගු කාලීනව සමීප සම්බන්ධතා සහිත පුද්ගලයන්
- දුර්වල වූ ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් – විශේෂයෙන් HIV ආසාදිතයන් සහ පෝෂණ ඌණතා වලින් පෙලෙන පුද්ගලයන්
- කුඩා දරුවන්
- ලාදුරු රෝගියෙක් සහිත රෝගියෙක් පවුලේ සිටී නම්
ඔබ මේ ඉහත නම් කරන කාණ්ඩ වලට අයත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ලාදුරු රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් ඇති කෙනකේ නිසා ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීම වැදගත්.
ලාදුරු සම්බන්ධයෙන් ගත්තොත් අපේ සමාජයේ ගොඩක් ලොකු දුර්මත තියෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ ලාදුරු හැදුනොත් එක හොඳ කරන්න බැහැ කියලා. එත් නූතන විද්‍යාවත් එක්ක ලාදුරු රෝගය සම්පූර්ණයෙන් ම සුව කරන්න පුළුවන් කියලා හොයා ගෙන තියෙනව. අවශ්‍ය වන්නේ කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වීම පමණයි.
ඒ වගේම ලාදුරු කියන්නේ කොවිඩ් වගේ ලඟින් ගියත් බෝ වෙන ලෙඩක් නෙමෙයි. ඉතින් කාටහරි ලාදුරු තියෙනවා නම්, ඔයා එයා එක්ක විනාඩි 10ක් 20ක් ලඟින් වාඩි වෙලා හිටියා කියලා ඔයාට ලාදුරු ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ලාදුරු රෝගීන් සමාජයෙන් කොන් කිරීමෙන් වලකින්න ඕනි. මොකද එයාල නිසි ආකාරයෙන් ප්‍රතිකාර ගත්තහම එයාලටත් සාමාන්‍ය මිනිස්සු වගේම එයාලගේ ජිවිතේ ගත කරන්න පුළුවන්.
ලාදුරු රෝගය නිසා කිසිම වෙලාවක අත්වල සහ කකුල්වල ඇඟිලි හැලෙන්නේ නැහැ, ඇත්තටම වෙන්නේ අත් සහ කකුල් වල සංවේදන නැති වෙලා ඒවා හිරි වැටෙන්න ගන්න එක. ඒ වගේම ඇඟිලි වල ආසාදන ආදිය ඇති වීම නිසා ඇඟිලි ඉවත් කිරීමක් වගේ ලාදුරු රෝගයේ දී වෙන්න පුළුවන්. හැබැයි ලාදුරු රෝගය කිසිම වෙලාවක ඍජුව ඇඟිලි හැලෙන්න හේතුවක් වෙන්නේ නැහැ.
ලාදුරු ගැන හරියට දැනුවත් වෙන්න, එකෙන් ආරක්ෂා වෙන්න තියෙන මාර්ගය නිරන්තරයෙන් සැලකිලිමත් වීම විතරයි. ඒ නිසා අවදානමක් ඇතැයි කියා ඔබට සිතෙනවා නම් ලඟම ඇති රෝහලට ගොස් නොමිලයේ ම ලාදුරු රෝගය සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
දැනුවත් වෙන්න – නිරෝගී වෙන්න!
සුබ දවසක්

