2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන සියලු පාසල්වල

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මෙරට අධ්‍යපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී අලස් මහතාගේ ද දැක්ම වු “සැමට අධ්‍යාපනය” ලබාදීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

මුදල් නොමැතිකමින් කිසිදු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යවන යුගයද අවසන් විය යුතු බව පැවසුවා.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.