තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධ අනතුරු ඇඟවීමක්

හෙට උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද උදෑසන වන විට අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව අක්ෂාංශ 14.5°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ පිහිටා තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමට ද, තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති වීමට ද ඉඩ පවතින බවයි දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ.