ඊ විදුලි බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වෙන ලෙස ඉල්ලීමක්

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහා මෙම ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.

SMS යොමු කිරීමේ දී පාරිභෝගිකයාගේ දුරකථන අංකයෙන් EBILL<හිස්තැනක්>විදුලි ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකය වෙත කෙටි පණිවුඩයක් (SMS) යොමුකළ යුතු වනවා.

මුද්‍රිත බිල්පත් මුළුමනින්ම නතරකිරීම මෙම ක්‍රමවේදයේ මූලික අරමුණ වී තිබෙනවා.

දැනට දෙහිවල කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලද මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලටද ඊ බිල්පත් පමණක් නිකුත් කරනු ලබන අතර ඉදිරි මාස කිහිපය ඇතුළත දිවයින පුරා විදුලි පාරිභෝගිකයින් වෙත මෙම ඊ බිල්පත් සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන බවයි ඔවුන් පවසන්නේ.