තැපැල් වර්ජනය අවසන්

පසුගිය 08 වන දා තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද පැය 48ක සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා.

ඒ අනුව අද දින සිට තැපැල් කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරන්නේ.

එසේම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ ද අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමිනුයි මෙම වර්ජනය ආරම්භ කළේ.