ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සටන් විරාමයක් නැහැ – ඊශ්‍රායලය

සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා මානුෂීය විරාමයක් ඉල්ලමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් විසින් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉරානයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සැලකෙන හිස්බුල්ලා ත්‍රස්තවාදීන් විසින් ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර වඩාත් තීව්‍ර කර තිබෙනවා.

ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙන්නේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායල පලස්තීන යුද්ධයට එක් වුවහොත් වඩාත් විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැකි බවයි.

හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා පසුගිය ඔක්තෝම්බර් 7 වන දා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඔවුන්ට ප්‍රශංසා කරන බව පවසා තිබෙනවා.