OnmaxDT අධ්‍යක්ෂකවරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ශ්‍රී ලංකාවේ සිදුකළ බව කියන පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘OnmaxDT’ ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) නිලධාරීන් විසින් මෙම පිරිස අද අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

OnmaxDT සමාගම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමිඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ බව මින් පෙර අනාවරණය වුණා.

පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසරේ අගෝස්තු මාසයේදී තහනම් කරන ලද ආයතන 09 අතරට මෙම සමාගමද ඇතුළත් වනවා.