පිංබර වප් පුර පසළොස්වක පොහොය අද

ශාසනික සහ ඓතිහාසික වටිනාකමකින් යුතු සිදුවීම් රැසක් සිදු වුණු වප් පුර පසළොස්වක පොහෝ දිනයට අදට යෙදී තිබෙනවා.

වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේලා විසින් වස් පවාරණයෙන් පසුව එළඹෙන චීවර මාසය අද සිට ආරම්භ වනවා. ඒ අනුව ගමත් පන්සලත් යා කරනු ලබන මහා පෙරහැර සහ කඨන පූජෝත්සව වප් පොහෝ දිනයට පසුව සිදු වනු ලබනවා.

එසේම සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම යමා මහ පෙළහර පාමින් දඹදිව සංකස්සපුරයට වැඩම කර ඇත්තේ (දේවාරෝහණය) ද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

මතු බුදු වන මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ 500 ක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළු වී විවරණ ලබා ගත්තේ ද අද වන වූ වප් පොහෝ දිනයකයි.

දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීමකට අනුව, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ථුපාරාමයට භික්ෂූන් වහන්සේලා කැඳවා විනය සංඝායනාවක් සිදු කර ඇත්තේ ද වප් පොහෝ දිනයක බවයි ශ්‍රී ලංකා ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ ඇමති ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම ද වප් පොහෝ දිනයක සිදු වී තිබෙනවා.

ලොව පුරා වූ බෞද්ධ ජනතාව මහත් සැදැහැතියෙන් ආගමික කටයුතු වල නියැලෙමින් වප් පොහෝ දිනය සමරනු ලබනවා.

එසේනම් සියලු සත්ත්වයෝ සුවපත් වන, පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!