ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලර් 10,000ක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අර්බුදයකට ලක්ව සිටින ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් ඇමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ වෙන් කර ඇති ඩොලර් 10,000 ක අරමුදල මේ වන විටත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ආහාර, ඖෂධ ඇතුළු සියලු පහසුකම් ලබාදීමට මෙම මුදල් ලබාදී තිබෙනවා.

එසේම ඉදිරියේදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වෙනත් අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ සඳහා තවදුරටත් මුදල් වෙන් කිරීමට ද පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.