යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි

2011-2015 කාලයේ දී ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිරයේ පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වෙන්නේ.

කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මාලිගා සංකීර්ණය අක්කර 29 ක භූමි භාගයක පිහිටා ඇති අතර ඉන් අක්කර 12 ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබෙනවා.

ඉතිරි ඉඩම් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලබාගෙන ඇති අතර රජයට අයත් අක්කර 12 ක ප්‍රමාණය SLIIT ආයතනයට මූලික අදියරේ දී බදු දීමට තීරණය කර ඇත.

දැනට මෙම ඉඩම ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත ලබා දීමට නියමිතය.