අද සිට ආදායම් බලපත්‍ර online ක්‍රමයට

අද සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා මීට අයදුම් කර මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ත්‍රිරෝද රථ යනාදියේ ආදායම් බලපත්‍ර ලබා ගත හැකි වනවා.

දැනට බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි ඔහු අවධාරණය කළේ.

එසේම ඉහත නම් නොකළ අනෙකුත් වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහා සිදු කළ හැකි බවයි වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Online ක්‍රමය හරහා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත පිරවීමට පෙර වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන පරීක්ෂණ සහතිකයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වනවා.

ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.