අත්‍යවශ්‍ය ඖෂධ 15 ක් අමාත්‍යංශය සතු නොවන බවට හෙළිදරව්වක්

පසුගිය සතිය වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය ඖෂධ 15 ක ගබඩා හිස් වී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.

වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සඳහා ලබා දෙන ඖෂධ, ශ්වසන පද්ධතියේ ආබාධ සඳහා ලබා දෙන ඖෂධ, අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ මෙන් ම පිළිකා නාශක ඖෂධ කිහිපයක තොග මෙලෙස අවසන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස යම් ඖෂධ තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොතිබීම ඉදිරියේ දී අනතුරුදායක තත්ත්වයක් මතු කරන බව ත් තවත් බොහොමයක් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සඳහා හෝ ප්‍රමාණවත් නොවන බව ත් එහි නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ඍජු ලෙස සම්බන්ධිත සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනික ව්‍යුහයන් අතර නිසි සම්බන්ධීකරණය සහතික කරන විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දුන්න ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.