ආර්ථිකය ගොඩ නැඟීමට දකුණු කොරියාවේ සහය

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ගේ ඇගයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන කැපවීම ද ඔහු විසින් ප්‍රශංසාවට ලක් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කරමින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවයෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ලබාගත හැකි බව ද සඳහන් කළා.