දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වුණි.
ඒ අනුව අද දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මගීන් දෙසීයකට අධික පිරිසක් මඩකලපුව සහ කන්දකාඩුව ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
මේ අතර මගීන් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් එම පරිශ්‍රයේ දැඩි උණුසුම් තත්වයක් හටගත්තේය.
දකුණු කොරියාව,ඉරානය සහ ඉතාලියේ සිට පැමිණෙන සියලු මගීන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට අනුව එම වැඩපිළිවෙළ අද අලුයම ආරම්භ කෙරුණි.
ඒ අනුව දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 164ක්, කොරියානු ජාතිකයින් දෙදෙනෙක්, ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙක් වශයෙන් 181 දෙනෙකු අද නිරෝධායනය සඳහා යොමු කෙරුණි.
එහිදී එම කණ්ඩායම ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මුහුණ පෑමට සිදුවූ අවහිරතාවක් සමාජ මාධ්‍යවල මෙලෙස සංසරණය වුණි.
එමෙන්ම එම මගීන් වෙත නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මුද්‍රිත පත්‍රිකාවක් බෙදා දී තිබූ අතර නිරෝධායනයට ලක්වන දින 14 ක කාලය තුළ ආහාර සඳහා රුපියල් 7500ක මුදලක් ඔවුන්ගෙන් අයකරගන්නා බව එහි සඳහන් වී තිබේ.
මේ සම්බන්ධයෙන් ද මගීන් අතර ඇතිවූයේ කලබලකාරී තත්වයකි.
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ නිරෝධායන කාල සීමාව තුළ කිසිදු ආකාරයකින් මුදල් අයකිරීමක් සිදු නොකරන බවයි.
ගුවන් තොටුපළ මූලික කටයුතුවලින් පසු මගීන් 181 දෙනා බස්රථ මගින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියේ මෙලෙසින්ය.
ඔවුන්ව දැකබලාගැනීමට ඥාතීන්ද අද අලුයම සිට ගුවන්තොටුපොළ අසල රැස්ව සිටියේය.
මෙලෙස මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තැබෙන පිරිස් සඳහා විශේෂ සෞඛ්යාරක්ෂිත උපක්‍රම හඳුන්වාදී තිබේ.
ඒ අනූව සැමවිටම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටර 02ක පරතරයක් පවත්වාගත යුතුයි.
එකිනෙකාට අතට අතදීම සහ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමද වැදගත් වෙයි.
ඔවුන් නවාතැන් සඳහා යොමු කෙරෙන්නේ රෝගය වැළඳීමේ ප්‍රවණතාව,ස්ත්‍රී පුරුෂභාවය හා මධ්‍යස්ථානය වෙත පැමිණි දිනය යන සාධක සැලකිල්ලට ගනිමින්ය.
පළමු කණ්ඩායම අද පස්වරුවේ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණි.
මේ අතර ඉතාලියේ සිට පැමිණි 40 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.
මේ අතර අද වන විට ලොව පුරා රටවල් 110ක පැතිරී ඇති නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන එක්ලක්ෂ දාහතරදහස ඉක්මවා තිබේ.
මරණ ගණන 4028කි.
ගතවූ පැය 24 තුළ චීනය තුළ අලුතින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 19ක් වන අතර නව මරණ ගණන 27 කි.
වෛරසයේ ව්‍යාප්තියෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පිං පළමුවරට වූහාන් නගරයේ සංචාරයක නිරතවී තිබේ.
මේ වන විට වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන්නේ ඉතාලියයි.
එරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 9172 දක්වාත්, මරණ සංඛ්‍යාව 463 දක්වාත් ඉහළ ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ ගණන 97කි.
පවතින අවදානම සලකා සමස්ත ඉතාලියම නිරෝධායනයට යටත් කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
සියලු පුරවැසියන්ට ගමනාගමනය සීමා කරන්නැයිද නියෝග කර ඇති අතර මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම අප්‍රේල් 03 වැනිදා තෙක් රට තුළ සියලු ක්‍රීඩා ඉසව් තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.
ඒ අනුව එරට නගර හා පොදු ස්ථාන හුදකලාව පවතින අයුරුයි මේ.
ඉරානයෙන් ආසාදිතයින් 7161 දෙනෙකු වාර්තා වන්නේ මරණ සංඛ්‍යාව 237 දක්වා ඉහළ නංවමින්ය.
එරට 70, 000කට වැඩි සිරකරුවන් ද වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිදහස් කිරීමට ඉරාන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර දකුණු කොරියාවේ ආසාදිතයින් සහ මරණ කැපීපෙනෙන අගයකින් පහළයමින් පවතියි.
එරටින් දැනට වාර්තාවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7 513ක් වුවද ගතවූ පැය 24 තුළ හඳුනාගෙන තිබෙන්නේ නව ආසාදිතයින් 131ක් පමණයි.
මරණ සංඛ්‍යාව 51කි.
මේ අතර නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන මෙවන් කාලයකදී සංචාරය සඳහා වඩාත් සුදුසු වන්නේ ශ්‍රී ලංකාව වැනි උණුසුම් රටක් බව බ්‍රිතාන්‍ය සංචාරක උපදේශකවරයෙක් ප්‍රකාශ කර තිබේ.
එරට ප්‍රකට සංචාරක ආයතනයක් වන PC නම් ඒජන්සියේ විධායක අධ්යක්ෂ පෝල් චාල්ස් මේ බව සදහන් කළේ ස්කයි මාධ්‍ය ජාලය හමුවේ සාකච්ඡාවක් ලබාදෙමින්ය.
අද දෙරණ

