උතුරු කොරියානු නායකයා රුසියාව වෙත සිය ගමන අරඹයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීම සඳහා ව්ලැඩිවොස්ටොක් වෙත සිය ගමන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

කිම් ජොන් උන්ගේ සිය විදේශ සංචාර සඳහා භාවිතා කරන සන්නද්ධ දුම්රිය පියොංයැං නුවරින් පිටත්ව ගොස් ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු වෙලාවට අනුව මෙම රැස්වීම ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත අතර මෙය කොරෝනා වසංගතයෙන් පසු උතුරු කොරියානු නායකගේ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇත.

යුක්රේනයේ යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බවයි එක්සත් ජනපද නිලධාරියෙක් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.