චීන ජනපති G20 සමුළුවට නොපැමිණීම ගැන බයිඩන් කනගාටුවෙන්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත 2023 G20 සමුළුව සඳහා සහභාගී නොවීමට චීන ජනාධිපති සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා.

බිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබෙන්නේ චීන අග්‍රාමාත්‍ය Li Qiang විසින් මේ සතියේ දිල්ලියේ පැවැත් වීමට නියමිත සමුළුවේ දී චීනයේ දූත පිරිසට නායකත්වය දෙන බවයි.

කෙසේවෙතත් තවමත් චීන ජනාධිපති Xi Jinping මෙම සමුළුවට සහභාගී නොවන බව නිල වශයෙන් තහවුරු කර නොමැත.

මේ හේතුවෙන් මෙම සමුළුවේ දී පැවැත්වීමට නියමිතව තිබූ චීන සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර හමුව ද නොපැවැත්වෙන අතර, බයිඩන් ප්‍රකාශ කළේ තමන් චීන ජනපති හමුවන බවයි.

එලෙස හමුවන්නේ කවදාද යන්න නිශ්චිත ලෙස ප්‍රකාශ නොකලත් ලබන නොවැම්බර් මාසයේ සැන් ෆ්රැන්සිස්කෝ හි පැවැත්වෙන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා නායකයින් අතර රැස්වීමේ දී නායකයන් දෙදෙනාට හමු වීමේ හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.