ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ඉක්මවූ වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බවත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවත් ය.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද දින දහවල් 12:11ට ඉප්පන්තිවූ දුපත (පුත්තලම දිස්ත්‍රික්කය), අනුරාධපුර, කටුකැලියාව සහ ඉලුක් වැව (අනුරාධපුර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වලට හිරු මුදුන් වී පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.