ජපානය විකිරණශීලි ජලය සාගරයට මුදා හැරීම අරඹයි

චීනය ඇතුළු අනෙකුත් අසල්වැසි රටවල සහ ජපාන ධීවර වැසියන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් විනාශ වී ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කරන ලද විකිරණශීලි ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා.

2011 වසරේ මාර්තු වල සිදු වුණු සුනාමියෙන් විනාශයට පත් වුණු මෙම න්‍යෂ්ටික බලාගාරය අක්‍රිය කිරීම සඳහා, ජපන් රජය විසින් මීට වසර දෙකකට පෙර මෙය අනුමත කරනු ලැබුවා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ සහය ඇතිව මෙම ජලය මුදා හැරීමේ කටයුතු සිදු කරන අතර ඔවුන් සඳහන් කර තිබෙන්නේ මෙම ජලය මගින් පරිසරයට සහ මිනිසුන්ට සිදු විය හැකි හානිය නොසැලකිය යුතු තරම් වන බවයි.

ජලයෙන් වෙන් කිරීමට අපහසු හයිඩ්‍රජන් සමස්ථානිකයක් වන ට්‍රිටියම් ජාත්‍යන්තරව අනුමතක මට්ටමට වඩා අඩු මට්ටමකට පැමිණෙන තෙක් ජලය තනුක කර පසු දිනකට උපරිම ලීටර් 500,000 ක් පමණ පැසිෆික් සාගරය වෙත ජපානයේ ඊසාන දෙසින් වූ වෙරළ හරහා මුදා හරින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

කෙසේවෙතත් පරිසර සංරක්ෂණ කණ්ඩායමක් වන Greenpeace ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රියාවලිය දෝෂ සහිත බවත්, මේ හරහා ඉදිරි දශක කිහිපය තුළ විකිරණශීලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සාගරයේ එකතු වන බවත් ය.