දැඩි නියඟයෙන් කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක්

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බව යි මහවැලි හා වාරිමාර්ග අමාත්‍යංශය පසුගිය දා අනාවරණය කළේ.

මේ වන විට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය 13% දක්වා පහත බැස ඇති අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කෘෂිකර්ම ඇමැති සිය එකඟතාවය පළ කර තිබෙනවා.

එසේම උඩවලව ජලාශය සිඳී යාමත් සමඟ තම වගා බිම්වලට සමනල වැවෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් විසින් පසුගිය සඳුදා ආරම්භ කරන ලද සත්‍යග්‍රහය තව දුරටත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.