හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිල දී ගැනීමේ සැලැස්මක්

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිල දී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

දන්ත වෛද්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඖෂධ 270ක පමණ ලැයිස්තුවක් ඉදිරිපත්වී ඇති අතර මේ හරහා එම ඖෂධ කඩිනමින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

එසේම ඇතැම් පිරිස් හුවා දක්වන ආකාරයේ බරපතළ ඖෂධ හිඟයක් රට තුළ නොමැති බව ලේකම්වරයා අවධාරණ කරනවා.

ප්‍රතිකාර අවශ්‍ය ඖෂධ හා උපකරණ නොමැතිවීම හේතුවෙන් ජාතික දන්ත රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියේම දන්ත සායනවල ප්‍රතිකාර බිඳ වැටෙමින් පවතින බවට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය කළ දැනුම්දීමකට අනුවයි මේ සැලැස්ම සකස් කර තිබෙන්නේ.