ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.

නුවරඑළිය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සහ ඉන්දීය විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කිරීම සඳහා දෙරට අතර සාකච්ඡා සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

එසේම ලංකාවට පැමිණ වසර 200ක් පමණ වන ඉන්දීය සම්භවයක් සහිත වතුකර දමිළ ජනතාවගේ ප්‍රගතිය උදෙසා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආධාර ලබා දීම පිළිබඳ ද ජනපතිවරයා විසින් සාකච්ඡා කර තිබෙනවා.

කෘෂිකර්මය හා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා ඉන්දියාව සමඟ එකඟතාවයකට පැමිණි බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එසේම කාලාන්තරයක් තිස්සේ පවතින උතුරු මුහුදේ බොටම් ට්‍රෝලින් කටයුතු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා අරාබි මුහුදට යෑම සඳහා අවස්ථාව දීම පිළිබඳ ද සාකච්ඡා ඇති වී තිබේ.

ඉන්දියන් සාගරය ඇතුළු කලාපයේ කටයුතු කිරීමේදී අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ සඳහා එකඟ වූ බව ද විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.