යාපනයටත් විදෙස් ශ්‍රමික පුහුණු මධ්‍යස්ථානයක් ලබා දීමේ තීරණයක්

යාපනය ප්‍රදේශයටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් සහ ප්‍රාදේශීය කාර්යාලයක් ලබා දීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමාට පෙර සිටි ඇමතිවරුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන සිය මැතිවරණ කොට්ඨාස තුළම පමණක් ඉදි කිරීමට කටයුතු කළ ද තමන් ඉන් බැහැර වෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ජූලි 15 හා 16 යන දෙදින යාපනයේ මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත “2023 Glocal Fair” ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා යාපනයට පැමිණි අවස්ථාවේ දී යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පවසා තිබෙනවා.