ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පාර්ලිමේන්තු විවාදයක්

ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය ට ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ දී විවාදයක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

France 24 නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 83 ක් ණය ලෙස ලබා ගෙන ඇති අතර ඉන් ඩොලර් බිලියන 41 ක් විදේශීය ණය ද, ඩොලර් බිලියන 42 ක් දේශීය ණය ද වෙනවා.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වලින් රජය ලබා ගෙන ඇති ණය කප්පාදු කිරීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.