රාජ්‍ය බැංකුවේ රන් කොල්ලය කොටුවෙයි

ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවය.

ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි.

විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම බැංකුවේ රන් භාණ්ඩ අස්ථානගත වී ඇති බවට පළමුව අනාවරණ වී ඇති බවය.