නොවැම්බර් යනු පෙනහළු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයයි.
ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද පෙනහළු පිළිකා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් මතුව ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවක දී සඳහන් කළා.
වැලිසර ළය රෝහල ආශ්රිත දත්ත අධ්‍යනය කිරීමේ දී ලංකාවේ පිරිමි සහ කාන්තා දෙපාර්ශවයේම 2010 සිට 2020 කාල සීමාව තුළ පෙනහළු පිළිකා ඇති වීම 50%කින් වගේ වර්ධනය වෙලා තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා. විශේෂයෙන් ම දුම් නොබොන පුද්ගලයනේගේ පෙනහළු පිළිකාවල වර්ධනයක් පවතින බව තමයි මෙහි දී පෙනී ගිහින් තියෙන්නේ.
පෙනහළු පිළිකා ඇති වීමේ ප්‍රධානම හේතුව තමයි සක්‍රිය සහ අක්‍රිය දුම් පානය. මෙහි දී සිගරට්, බීඩි සහ cigar මේ සියල්ලම පෙනහළු පිළිකා ඇති කිරීමේ අවධානම් සාධක වෙනවා. ඔබ සක්‍රියව දුම් පානයේ නොයෙදුනත්, දුම්පානය කරන පුද්ගලයන් ළඟ නිරන්තරයෙන් ගැවසීම නිසා ඒ දුම් ඔබේ පෙනහළු වලට යෑමෙන් ඔබට පෙනහළු පිළිකා ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි රැකියා ස්ථානවලදී හෝ පරිසරයේ ඇති ඇස්බැස්ටෝස් (Asbestos), රේඩෝන් වායුව (Radon gas), ආසනික්, නිකල් සහ ක්‍රෝමියම් වැනි රසායනික ද්‍රව්‍ය දිගුකාලීනව ආශ්වාස කිරීම නිසාත් පෙනහළු පිළිකා ඇති වෙන්න පුළුවන්. සහ වාහනවලින් සහ කර්මාන්තශාලාවලින් පිටවන දුම නිසා සිදුවන දැඩි වායු දූෂණය නිසාත් පෙනහළු පිළිකා ඇති වීමේ අවධානම ඉහළ යනවා.
ඔබේ පවුලේ කාට හරි මේ පෙනහළු පිළිකාවක් ඇති වී තිබෙනවා නම් ඔබටත් එහි යම් ජානමය බලපෑමක් තිබෙන්න පුළුවන්.
පෙනහළු පිලිකාවක රෝග ලක්ෂණ අනෙක් පිලිකාවර්ග වලට බොහොම සමානයි. ශරීරයේ අසාමාන්‍ය ලෙස බර අඩු වීම, අධික මහන්සිය ලක්ෂණ වෙන්න පුළුවන්. ඊට අමතරව සති ගණනක් පවතින සහ දිනෙන් දින නරක අතට හැරෙන නිදන්ගත කැස්සක්, කැස්ස සමඟ ලේ පිටවීම හෝ සෙම සමඟ රුධිරය මිශ්‍ර වීම, හුස්ම ගැනීමේ අපහසුතාව හෝ හුස්ම ගැනීමේදී පිම්බෙන හඬක් (Wheezing) ඇති වීම, පපුවේ, පිටුපස හෝ කර මත නිතර ඇති වන වේදනාව වගේ දේවලුත් මෙහි රෝග ලක්ෂණ වෙනවා.
ඒ වගේම තමයි නිතර නියුමෝනියාව හෝ බ්රොන්කයිටිස් වැනි ආසාදන ඇති වීම සහ හඬේහි ගොරෝසු බාවයක් ඇති වීමත් පෙනහළු පිළිකා වල ලක්ෂණ වෙනවා.
පෙනහළු පිළිකා වැළැක්වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ දුම්පානයෙන් සම්පූර්ණයෙන් වැළකීම සහ දුම් බොන අය අසල ගැවසීමෙන් තොර වීමයි. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීම, ව්‍යායාම කිරීම සහ විෂ සහිත රසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමත් කරන්න ඕනි.

