ඉන්දීය කලාවට ජාත්‍යන්තර දොරටු විවර කළ පීටර් නාගි දිවි ගමන නිම කරයි

ඉන්දීය සමකාලීන කලාවට ජාත්‍යන්තර අවධානය දිනාදීමට විශාල දායකත්වයක් ලබාදුන්, නවදිල්ලියේ Nature Morte කලාගාරයේ නිර්මාතෘ පීටර් නාගි වයස අවුරුදු 67දී මියගොස් තිබෙනවා.

දිගුකාලීන අසනීප තත්ත්වයකින් පසුව ඔහු මියගිය බවයි එම කලාගාරය අඟහරුවාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

අමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ උපත ලැබූ පීටර් නාගි, 1982 වසරේදී කලාකරුවෙකු වන ඇලන් බ්ලෙචර් සමඟ එක්ව නිව්යෝර්ක් නගරයේ ඊස්ට් විලේජ් ප්‍රදේශයේ Nature Morte කලාගාරය ආරම්භ කළා.

ඉන්දීය සමකාලීන කලාව ජාත්‍යන්තරයට හඳුන්වාදීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ පීටර් නාගි, සුබෝද් ගුප්තා සහ භාරතී ඛේර් ඇතුළු කලාකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමට දායක වී තිබෙනවා.

පීටර් නාගිගේ අභාවයෙන් පසුවද කලාගාරය වසා නොදැමීමට තීරණය කර ඇති බව එහි පාලනාධිකාරිය සඳහන් කරනවා. ඔහුගේ කැමැත්ත වූයේ ශෝකය වෙනුවෙන් කලා ප්‍රදර්ශන නතර නොකර, කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාම බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මූලාශ්‍රය – Hindustan Times