අධිවේගයේ යන සියලු මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය -කර තිබෙනවා.

ඒ මීට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට පත්කෙරුනු නීති ප්‍රකාරවය.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට මීට වසරකට පෙර නීති ප්‍රකාශයට පත්කෙරුණද එය ක්‍රියාත්මක නොවූයේ ඇතැම් වාහනවල පසුපස මගීන් සඳහා ආසන පටි නොමැතිවීම හේතුවෙනි.

ඒ අනුව පසුපස ආසනවලද ආසන පටි සවි කරගැනීම සඳහා ලබාදුන් වසරක කාලය අවසන් වීමෙන් පසු ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“අධිවේගී මාර්ගයේ ඉස්සරහා සීට් එකේ යන අයත්, පස්සේ සීට් එකේ යන අයත්, හැම කෙනාම සීට් බෙල්ට් දාන්න ඕන කියන නීතියට අවුරුද්දක් වෙනවා. ඒක අලුත් නීතියක් නෙමෙයි. හෙට දිනයේදී පටන් ගන්න එක තමා, අධිවේගී මාර්ගවල යන වාහනවල සමහර වාහන තියෙනවා නිෂ්පාදකයා විසින් සීට් බෙල්ට් සවි කරලා එවපු නැති. විශේෂයෙන්ම පරණ වාහන. එතකොට අපි කරපු දේ තමයි, නීති කියන ඒවා අපි දන්නවා ජනතාවට අදාළ දේවල්. එතකොට අපිට උවමනාව තිබ්බ කියලා අපි නීති පටවන්නේ නෑ, විශේෂයෙන්ම මේවා සාමාන්‍ය මේ දේවල් නිසා. එතකොට අපි අවස්ථා හතරකදී ගැසට් දික් කර කර දික් කර කර අවස්ථා දුන්නා වාහනයේ සීට් බෙල්ට් හයි කරලා නැතිව එන වාහනවල අයිතිකරුවන්ට සීට් බෙල්ට් හයි කරන්න. ඉතින් එහෙම හයි කර ගත්ත අයට පමණයි අද රෑ 12න් පස්සේ අධිවේගී මාර්ගවල නීත්‍යානුකූලව ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ.”