ඉන්ධන මිල පහළ දැමීම රජයේ අරමුණයි

පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉන්ධන මිල පහළ දැමීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර පහළ දැමීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, එළඹෙන මාසයේදී ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද පැවසීය.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බවත් නැව් ගාස්තු ඉහළ යාම සහ ඇණවුම් අවලංගු වීම වැනි කරුණුද ඉන්ධන මිල ඉහළ යාමට බලපා ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිලද පහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, QR කේතය භාවිත කර ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය. කිසියම් ඉන්ධන පිරවුම්හලකින් QR කේතයට අනුව ඉන්ධන ලබා නොදෙන්නේ නම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

QR කේතය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල ගැටලු මතුවුවද , එම ගැටලු නිරාකරණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වහාම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉන්ධන ගැටලුව හේතුවෙන් කිසිදු කර්මාන්තයක් හෝ ඉදිකිරීම් ස්ථානයක් වසා දැමීමට සිදුව නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.