අධිවේගයේ ආසන පටි පැළඳීම ගැන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ද ආරක්ෂිත ආසන බඳ පටි පැලඳීමේ නීතිය 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කර ඇති බැවින් ඒ පිළිබඳ අධිවේගී මාර්ගය භාවිත කරන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දී අද (21) පැවැත්විණ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ද එක්විය.

ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින්වර ක්‍රියාත්මක කිරීම කල්දැමුණද නැවත කිසිසේත් කාලය දීර්ඝ කිරීමක් සිදුනොකරන අතර, එලැඹෙන සැප්තැම්බර් 19 වන දින සිට ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න, අධිවේගී මාර්ග කොට්ඨාස (දකුණ) පොලිස් රථවාහන අංශයේ පොලිස් අධිකාරි ධම්මික අමරසේන, එහි සහකාර පොලිස් අධිකාරි කේ.ඩී.ආර්.ඩබ්ලිව්. කෝරලගේ, එහි පොලිස් ස්ථානාධිපති ඩී.එච්.එස්.ඒ. කරුණාරත්න, කඩවත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩී.පී. මධුසංඛ යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.