හාලිඇළ–බදුල්ල මාර්ග සංවර්ධනය මාස 06කින් අවසන් කිරීමට සැලසුම්

හාලිඇළ සිට බදුල්ල දක්වා පේරාදෙණිය–බදුල්ල–චෙන්කලාඩි මාර්ග කොටස සංවර්ධනය කිරීමේ කටයුතු ඉදිරි මාස 06 ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (12) හාලිඇළ නගරයේ සිට බදුල්ල දක්වා මාර්ගයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වෙන් කර ඇති අතර, මාර්ගයේ පළුදු සකස් කිරීමෙන් ඔබ්බට ගොස් ජනතාවට උපරිම පහසුකම් සැලසෙන පරිදි මාර්ගය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට සැලසුම් කර තිබේ.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථාන හඳුනාගෙන ඇති බවත්, ස්වාභාවික පරිසරයට හානි නොවන අයුරින් ආකර්ෂණීය ලෙස ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අධික රිය අනතුරු සිදුවන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මෙම මාර්ග කොටසේ මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පදික වේදිකා ඉදිකිරීම, මගී මංතීරු වෙන් කිරීම සහ පදික වේදිකා ආවරණ වැටවල් සවි කිරීමටද නියමිතය.

එමෙන්ම, ඇල්ල ප්‍රදේශයේ සිට බදුල්ල හරහා ගමන් කරන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාර්ගය හා අවට පරිසරය අලංකාරවත් කිරීමටද සැලසුම් කර තිබේ.

හාලිඇළ සහ බදුල්ල යන නගර දෙකටම සමාන ප්‍රතිලාභ හිමිවන පරිදි නගර සංවර්ධන කටයුතු සිදු කිරීමටද අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.