මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වෙන්න සුදුසු ඇඳුම් අදින්න පාසල් ළමුන්ට අවසර

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට ද සිසුන් දැනුම්වත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.