පින්බර පොසොන් පොහෝ දිනය අදයි

පින්බර පොසොන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි.

ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවුනමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් අනාගාමී ඵලයට පත් රාජකීය උපාසකයාත් එම ධර්ම දූත පිරිසට අයත් වූහ.

අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ද දැක්වෙනවා.

එසේම තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.