ගංගා ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙයි

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, මේ තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගා ද්‍රොණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බවය.

විශේෂයෙන්ම කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවද සඳහන් කළ ඒ මහතා, වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බවද පැවසීය.

මේ වනවිට ප්‍රධාන ජලාශ 73න් 18ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් ද වාන් දමමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ජලය මුදාහැරීම කිසිවිටෙකත් මහා ගංවතුරක් දක්වා වැඩිවීමක් පෙන්නුම් නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද (14) දින උදෑසන 7.00ට වසා දැමූ බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.