එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
දන්සල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී ලියාපදිංචි කිරීම් සිදුකර ගත හැකි බවයි එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා පැවසුවේ.
එහිදී දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදු කිරීමට නියමිතයි..
එම ලියාපදිංචියෙන් පසුව දන්සලේ ආහාර පිළියෙල කරන අයුරු, කසළ කළමනාකරණය කිරීම් සිදුකිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීපාරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.
දන්සල් සඳහා ආහාර නිකුත් කිරීමේදී අතින් ආහාර ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඒ සඳහා ආහාර ලබා දීම සඳහා සකසා ඇති උපකරණ, අත්වැසුම් භාවිතයට ගත යුතු බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම දන්සල් පැවැත්වෙන ස්ථානයේ පානීය ජල මූලාශය පරිභෝජනය සඳහා සුදුසු ජල මූලාශ්‍රයක් විය යුතු බවත් ආහාර පිළියෙළ කිරීමේදී එම ආහාර සහ අමුද්‍රව්‍යවල කල්ඉකුත් වීමේ දිනය සම්බන්ධව දැනුවත් වන ලෙසත් ඒ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.
දන්සල් ලබා දීමේදී යම් හෙයකින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කළ හොත් 1980 ආහාර පනත යටතේ සහ 2011 ආහාර සුරක්ෂිතතා රෙගුලාසි යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

