මේ රස්නේ නිසා ඔයාටත් නිතරම තරහ යනවද

මේ දවස් වල පවතින අධික උණුසුම් කාලගුණය අපේ ශරීරයට වගේම මනසටත් පීඩාවක් ගෙන දෙනවා. ඇත්තටම ශරීරයට ඇති වන ඒ අපහසුතාවය නිසා මනස නොසන්සුන් වෙන්න, ඉක්මනින් තරහ යන්න වගේම ඉවසීම අඩු ස්වාභාවයක් පවා ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි low mood එකක්, මානසික මහන්සියක් පවා මේ රස්නේ නිසා ඇති වෙන්න පුළුවන්. කිසිම වැඩක් කරන්න ශක්තියක් නැහැ, මානසිකව හරිම පීඩාකාරී බවක්, heavy බවක් දැනෙන්න පුළුවන්.

ඔයාටත් මේ දවස් වල මේ වගේ ලක්ෂණ වැඩියෙන් තියෙනවා වෙන්න පුළුවන්, මුලින් ම කියන්න ඕනි මේ උණුසුමත් එක්ක ඒක සාමානය දෙයක්. බහුතරයක් දෙනාට මේ තත්ත්වය තියෙනවා.

මේ තත්ත්වය අවම කර ගන්න කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි අපේ ශරීරය සිසිල්ව පහසුවෙන් තියා ගන්න එක. හොඳට වතුර බොන එක, හැකි සෑම විටම wash එකක් දාලා fresh ව ඉන්න එක, සැහැල්ලු කපු ඇඳුම් අදින එක වගේ දේවල් වලින් අධික උණුසුම නිසා ඇතිවන ශාරීරක අපහසුතා අවම කර ගන්න ඔයාට පුළුවන්. මේ හරහා ශරීරයට වගේම මනසටත් යම්තාක් දුරට පහසුවක් දැනෙනවා.

හැකිනම් wet tissue, කලෝන් එකක්, facial mist එකක් වගේ දේවල් ළඟ තියා ගන්න.

ඒ වගේම තමයි ඔයා වැඩ කරන වේගය ටිකක් අඩු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ දවස්වල. මොකද අපේ මනස ගොඩක් මහන්සි වෙනකොට irritated ගතියක් එනවා, තරහ යන්න පුළුවන්, සහ ඉවසීම අවම වෙනවා. වෙනදට වගේ නෙමෙයි මේ irritated ස්වාභාවය ඉක්මනින් ම මේ දවස් වල එන්න පුළුවන්. ඉක්මනට ඔයා කරන වැඩේ එපා වෙන්න පුළුවන් ඔයා මනසට බරක් දාලා වැඩක් කරන්න ගියොත්. ඒ නිසා මනස සන්සුන්ව තියා ගෙන ටිකක් හෙමින් ඔයාගේ වැඩ ටික කර ගන්න පුළුවන් නම් මම හිතෙනවා ඒක ගොඩක් ඵලදායි වෙයි කියලා.

ඔයාට කේන්තියක් දැනෙනකොට ටිකක් ඔයා වැඩ කරන තැනින් නැගිටලා ගිහින් මූන සහ අත් එහෙම සෝදා ගන්න පුළුවන් නම් හොඳයි. ඒකෙන් ශරීරය සිසිල් වෙලා අර කේන්තිය පහව යනවා. මූන අතපය සෝදලා ඉවර වුණාම ටිකක් ඇස් පියා ගෙන විනාඩි පහක වගේ කාලයක් ඔයාගේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරලා ඉන්න එකෙන් ඔයාගේ හිත සන්සුන් වෙනවා. එතකොට අර කේන්තියෙන් සම්පූර්ණයෙන් ම වගේ ඔයාට recover වෙන්න පුළුවන් වෙනවා.

මේ දවස් වල ඔයාගේ හිතට සහනය ගෙන දෙන දේවල් ටිකක් වැඩියෙන් කරන්න, පොත් කියවන්න, ලස්සන සින්දුවක් අහන්න, පාට කරන්න, ඒ වගේ දේවල් වලට ටිකක් වැඩියෙන් කාලය යොමු කරන්න. එකෙන් මේ රස්නේ නිසා අපේ හිතට දැනෙන පීඩාව බොහෝ දුරට අඩු කර ගන්න අපිට පුළුවන්.

ඔයාට වගේම අනෙක් අයටත් මේ රස්නය නිසා ඇති වන පීඩාකාරී ස්වාභාවය එහෙම්ම ඇති වෙනවා කියන එක දැනගෙන එයාල එක්ක ගනුදෙනු කරන්න යන එකත් වටිනවා. මොකද මේ රස්නේ නිසා එයාලටත් කේන්ති යන එක වැඩියි නේ. ඒක ගැන අවබෝධයෙන් කටයුතු කරන එකෙන් අනවශ්‍ය ගැටුම් සහ සිත්රිදීම් ඇති වෙන එක අවම කර ගන්න පුළුවන්.

පුළුවන් නම් මේ දවස් වල රෑට වගේ පොඩ්ඩක් ඔයාගේ පවුලේ අය එක්ක එලියට බැහැලා ඉන්න එකත් හොඳයි. මිදුලට වෙලා ටිකක් කතා බහ කර ගෙන ඉන්න එකෙන් quality time එකක් ගත කරන්න පුළුවන් වගේම දවසේ මහන්සිය, පීඩාකාරී බව නිවා ගන්න පුළුවන් වෙනවා.

මතක තියා ගන්න මේ රස්නේ නිසා තියෙන තරහ යන ස්වාභාවය, නොසන්සුන් බව, focus කරන්න අමාරු වෙන එක ඔයාගේ දුර්වලතාවයක් නෙමෙයි. ඒ නිසා ඔයා ඒක ගැන අනවශ්‍ය විදිහට දුක් වෙන්න හිතන්න යන්න එපා. හැකි විදිහට මේ රස්නෙත් එක්ක ඔයාගේ එදිනෙදා වැඩකටයුතු manage කර ගන්න එක තමයි වටින්නේ.

Malmi Amasha Liyanage

B.Sc. Hons in Psychology (UG)