ටෙහෙරානයේ තෙල් ගබඩා සංකීර්ණ වලට ප්‍රහාරයක්

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට පිහිටි ප්‍රධාන තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙහෙරාන් සහ අල්බෝර්ස් (Alborz) පළාත්වල පිහිටි ප්‍රධාන තෙල් ගබඩා 4කට සහ ඛනිජ තෙල් නිෂ්පාදන බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

ප්‍රහාරයත් සමඟ ටෙහෙරාන් අගනුවර අහස පුරා පැතිරුණු දැවැන්ත ගිනි ජාලා සහ ඝන කළු දුමාරයක් දැකගත හැකි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේවෙතත් ගින්න මේ වන විට පාලනය කර ඇතැයි ඉරාන බලධාරීන් පවසනවා.

මෙම ප්‍රහාරයෙන් ඉරාන ජාතිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ දක්වා හමුදා කඳවුරු සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් පැවති මෙම ගැටුමේදී, සිවිල් කාර්මික සහ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයේ හයිෆා (Haifa) තෙල් පිරිපහදුව ඉලක්ක කර ඇති බවද වාර්තා වනවා.