මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු මස 10 සිට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන මාර්තු මස 10 වන දින ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා අවම වශයෙන් වසර 10කට වරක්වත් මෙවැනි ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මාර්තු 10 වන දින ආරම්භ වන මෙම සමීක්ෂණය ලබන නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් දත්ත රැස්කිරීම සිදු කරනු ඇත.

මෙමඟින් මෙරට ජනතාවගේ වත්මන් මුඛ සෞඛ්‍ය මට්ටම සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාත්මක දත්ත පද්ධතියක් සකස් කර ගැනීමට අපේක්ෂිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.