යුද්ධය හේතුවෙන් ඉරානයේ 787ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් එරට මිය ගිය සංඛ්‍යාව 787 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයිගෙන් සඳහන් කරන්නේ යුද්ධය ආරම්භ කළේ තමන් නොවන බවත්, එය නතර කළ යුත්තේ එය ආරම්භ කළ අය බවත් ය.

මෙම යුද්ධය හේතුවෙන් ඉක්මනින් යුරෝපය ඇතුළු ලෝකයම විනාශය කරා යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එසේම ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ Hezbollah සටන්කාමින් ඉලක්ක කර ගනිමින් සිදු කරන ගුවන් ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කර ඇති අතර රටේ දකුණට නව ගොඩබිම් ආක්‍රමණයක් ද දියත් කර ඇත.

යුද්ධයේ ආරම්භයේ සිට ඉරානය විසින් දියත් කරන ලද මිසයිල 73 ක් සහ ඩ්‍රෝන යානා 91 ක් විනාශ කර ඇති බව බහරේන් ගුවන් ආරක්ෂක පද්ධති පවසනවා.

ඉරාන ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 68 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පවසනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම සති හතරක් පමණ පැවතිය හැකි බවත්, ටෙහෙරානයේ මිසයිල සහ න්‍යෂ්ටික හැකියාවන් විනාශ කිරීමට වොෂින්ටනයට අවශ්‍ය ඕනෑම දෙයක් කරන බවත්ය.