මුහුදු ප්‍රදේශවලත් ස්ථාන කිහිපයක වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, තවදුරටත් දුර්වල වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මි (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු විය හැක.

ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබන්නේ.

වැසි තත්ත්වය:
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.