නිරිතදිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස නාවික හා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.