මහා ශිව රාත්‍රිය අදයි

ලොව පුරා වසන හින්දු භක්තිකයන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රිය අදට යෙදී තිබෙනවා.

“ශිව දෙවියන් වෙනුවෙන් වෙන් වූ මහා රාත්‍රිය” යන අරුත ඇති මෙම දිනය අඳුර පරදා ආලෝකය ජය ගැනීම සංකේතවත් කරනවා.

ශිව දෙවියන් සහ පාර්වතී දේවියගේ විවාහය සිදු වූයේ මෙදින බව විශ්වාස කෙරෙනවා.

විශ්වයේ මැවීම, පැවැත්ම සහ විනාශය නිරූපණය කරන “ආනන්ද තාණ්ඩව” නර්තනය ශිව දෙවියන් විසින් ඉදිරිපත් කරන ලද්දේ ද මෙවන් රාත්‍රියක බවයි පැවසෙන්නේ.

මහා සාගරය කළඹන අවස්ථාවේ මතු වූ “හලාහල” නම් මාරාන්තික විෂ පානය කර ලෝකය විනාශයෙන් බේරා ගැනීම අනුස්මරණය කරමින් බැතිමතුන් එදිනට නිදි නොමැතිව ආගමික කටයුතු වල යෙදෙනවා. විශේෂයෙන් ඔවුන් “ඕම් නමඃ ශිවාය” යන්න ජප කරනවා.

විද්‍යාත්මක හා ජ්‍යොතිෂමය පැත්තෙන් බලන කල, අද පෘථිවියේ උත්තර අර්ධගෝලයේ පිහිටීම අනුව මිනිසාගේ ශක්ති මට්ටම් ස්වභාවිකවම ඉහළ යන බව පැවසෙනවා. මේ නිසා කොඳු ඇට පෙළ සෘජුව තබාගෙන නිදි වර්ජිතව සිටීම (Upright posture) ශක්තිය උත්තේජනය කිරීමට උපකාරී වන බව විශ්වාස කෙරෙනවා.