ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම අගය 150ත් 200ත් අතර අගයක සටහන් වී තිබෙනවා.

එය තරමක අහිතකර තත්ත්වයක් වන බවත් මෙම තත්ත්වය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට උපදෙස් ලබා දෙනවා.

මෙසේ වායු ගුණාත්මකභාවය පහළ යාමට ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදී වූ මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන අතර ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.