දිට්වා නිසා නතර කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.

කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන පුලතිසි නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රියද එදින සිට දිනපතා ධාවනයට එක් කිරීමට නියමිතයි.

මේ අතර සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළැඹෙන 19වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා කර ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබද ඉදිරියේදී දැනුම් දෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.