කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

“හෙළයේ ගීත කෝකිලාවිය” කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සමඟ ලබන බදාදා (31) සිදු කිරීමට නියමිතව තිබෙනවා . 

ඒ මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට රජය තීරණය කළ බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙන අතර එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී උපත ලැබු රීටා ජෙනවිට් ප්‍රනාන්දු පසුකාලීනව ලතා වල්පොළ යන නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්පාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ඇය පිදුම්ලාබා තිබෙන අතර ඇය චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී තිබේ.