මනම්පිටිය ප්‍රදේශයේ ගංවතුර මට්ටම ඉහළට

පැවති අධික වර්ෂාව සමඟ මහවැලි ගංගා ද්‍රෝණියේ මනම්පිටිය ප්‍රදේශයේ මේ වන විට ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයකට වඩා වැඩි මට්ටමක පවතින බව වාරිමාර්ග  අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.

එම ගංවතුර තත්ත්වය මත ත්‍රිකුණාමලය දක්වා වූ පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවීමේ හැකියාව ඇති බවත් සෝමාවතිය ප්‍රවේශ මාර්ගය මේ වනවිටත් ජලයෙන් යට වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

එසේම මල්වතු ඔය තන්තිරිමලේ ජලමට්ටම මේ වනවිට සුළු ගංවතුර මට්ටමකට පැමිණ තිබුණත් ජලය වැඩිවීමක් තවදුරටත් සිදුනොවන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර ප්‍රධාන ජලාශ 73න් මේ වනවිට ජලාශ 34ක් ද , මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 48ක් ද මේ වනවිට වාන් දමන බවත් එම කිසිදු ජලාශයක අනතුරුදායක ජලය නිදහස් කිරීමක් සිදුනොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම පවතින වැසි තත්ත්වය තුළ ක්ෂණි වතුර මතුවීම් හෝ ජලාශ අවට එවැනි වෙනස්කම් පවතින්නේ නම්, ඒ පිළිබඳ හැකි ඉක්මනින් අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.